Friday 20 March 2015

නපුරු සතා සහ පුළුන් බබා



මේ අප පොඩි කාලේ පාසලේදී නිතර කන වැකුණු  වචන කීපයකි. එකල තිබු පාසැල් ලියන පොතේ පිට කවරය සරසා තිබුනේ කැලේ සතුන් කීප දෙනෙකුගෙනි. අලියා, ජිරාෆයා,නරියා සහ හාවා පොතේ මුල්කවරයේ පහිලින් සිටි සතුන් කණ්ඩායමයි. 

අපේ නංගිලා සහ ඔවුන්ගේ වයසේ ළමයින් "ඇත් දළදා, බෙල්ල දිගා, නපුරු සතා , පුළුන් බබා" යැයි කියමින් මේ රූප වලට ඇගිලි දික් කරමින් කරන සෙල්ලමක් මම දැක තිබේ. 

මට හදිසියේ නපුරු සතා මතක් විය.... එකල ගමේ පාසලේ ළමයින් නපුරු සතා යැයි කිවූ කොල්ලෙක් බ/ කිරිඔරුව විද්‍යාලයේ විය. නපුරු සතා "මට ඔහුගේ හරි නම මතක නැත" යම්කිසි ප්‍රමාණයකට මන්ද බුද්ධික භාවයෙන් පෙළුණු අයෙක්  යැයි මම සිතමි.

නපුරුසතා ගේ අක්කා ට අපේ නංගිලා සහ එම පන්තිවල ළමයින් කීවේ "දත් උල් දිසානායක" කියාය.  ඇගේ රදනක  දත් දෙකින් එකක් අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා තිබීම එයට හේතුවයි.

 නපුරු සතා මෙන්ම ඔවුගේ අක්කාද දැන් ඉහ මොළ වැඩුණු ශ්‍රී ලංකා පුරවැසියන්වේ. ඔවුන් කුඩා කල දුටුවාට පසු ඔවුන්ගේ කල් ක්‍රියාව කෙසේදැයි කියන්න මා දන්නේ නැත. 

ඔවුන්ගේ තාත්තට අප කීවේ උඩුවර මාමා කියලයි. උඩුවර මාමා උදේ පාන්දර වේවැල් කූඩයකුත් අතින් ගෙන උදැසන අපේ පාසල් බසයෙන්ම බණ්ඩාරවෙල ඩිපෝවට යන හැටි මට තාමත් මතකය. උඩුවර මාමා අරක්කු, සිගරට් තියා බුලත් විටක් වත් පාවිච්චි නොකළ අයෙක් බව මට මතක් කර දුන්නේ දැනට අප නිවසේ සිටින අපේ තාත්තා විසිනි.

හදිසියේ මට නපුරුසතා සහ ඔහුගේ පවුලේ අය මතක් වුයේ මෙරට සිටින අපේ ශ්‍රී ලාන්කික හිතවතෙක්  ගේ ඉල්ලීම නිසාවෙනි. අපේ හිතවතාට නැති බැරි පවුලක ළමයින්ට මාස් පතා උදවූ කරන්න අවශ්‍ය විය. 

ඔහු මගෙන් ඉල්ලා සිටියේ එයට සුදුසු පවුලක් තෝරා දෙන ලෙසයි. "මෙය එතරම්  ලේසි පහසු කටයුත්තක් නොවේ " ඇත්තම කිව්වොත් මට අපේ ගම ගැන හරියට මතක නැත. 

මුළු රටම දියුණු වී ඇති මේ මොහොතේ...නපුරුසතාලා වැනි අය දැන් ගජ පෝසතුන් විය යුතුය. නපුරු සතාගේ අක්කා වුවද යමක කමක් ඇති කෙනෙක් හා විවාහ වී ළමයි ළපටින් හදා ගෙන සතුටින් සිටිනවා විය යුතුය.

උපන් ගෙයි සමාජ සේවකයෙක් සහ කවදත් ප්‍රගතිශිලියෙක් වූ මගේ තාත්තා දැන් අපේ නිවසේ සිටීම මෙවනි දේවල් සඳහා ඉතාමත් පහසු කටයුත්තකි.. මම තාත්තාගෙන් ඇසුවෙමි.. 

තාත්තා මට සුදුසුම පවුල අපේ ගමේ ඉස්කෝලෙට ඉතා කිට්ටුවෙන් සොයා දුන්නේය.


ඒ නපුරුසතාගේ අක්කා  සහ ඇගේ පියා නොමැති දරුවන් දෙදෙනායි. මට මතක අ/ කිරඹ ගම විද්‍යාලයේ අතීතයයි . ගම රට දැන් වෙනස් වී ඇත. මන් මාවත් හැදී අපි එදා පයින් පාසැල් ගිය ප්‍රදේශ දියුණු වී තිබේ. 

උඩුවර මාමා ජීවත් වූ ආකාරයට ළමයින් යහපත් අදයපනයකට යොමු කෙරුණා නම් අද ඔවුන්ද සමාජයේ සැලකිය යුතු තාරාතිරමක අය විය යුතුය. එහෙත් අවාසනාවකට දත් උල් දිසානායක වැනි අය දැන් කබලෙන් ලිපට වැටි තිබේ. 

යට හේතුව උඩුවර මාමා ගේ වැරද්දක් හෝ රට පාලනය කල අයගේ වැරද්දක් හෝ යැයි මම නොසිතමි. අපේ හිතවතාට ලබා දීමට නපුරුසතාගේ සොහොයුරිගේ විස්තර  මට අවශ්‍ය විය. මම තාත්තාගෙන් අපේ අතීත මතකයනුත් වත්මන් ගමත්  යා කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි. 

නපුරුසතාගේ අක්කා   අ. පො. සා. ( සා. පෙ.) මෙන්ම  අ. පො. සා. ( උ. පෙ.) කලා අංශයෙන් ඉගෙනීම ලැබූ අයෙකි.  ඇය විවාහ වී තිබුනේ වැල්ලවාය ප්‍රදේශයේ අයෙක් සමගයි. 

එයින් ඇයට අවුරුදු 14ක දියණියක් හා වයස  6ක් හෝ 7ක් වන පිරිමි ළමයෙක් සිටී. මගේ අනුමානයේ හැටියට ඔවුන් ගොවිතැනින් ජීවත් වූ පවුලකි. 

අපි ඇයට කුමාරි යැයි කියමු. කුමාරිගේ ස්වාමියා ගොවිතැනින් යමක් උපයන නිසා හෝ  ඇයට රැකියාවක අවස්යතාවය තදින්ම නොදැනීම නිසා හෝ වෙනයම් කාරණාවක් මත හෝ ඇය ඒ දිනවල රැකියාවක් කලේ නැත.

එහෙත් අද ඇය අපේ ගම අසල ඇති තේ වත්තේ තේ දළු නෙලන්නියකි. මෙය එසේ වුයේ මන්දැයි මම මාගෙන්ම ප්‍රශ්න කලේ හේතුවක් නැතිවම නොවේ. 

උඩුවර  මාමා  බුලත් විටක් වත් කෑවේ නැතිනම්.. කුමාරි අ. පො. සා. ( උ. පෙ.) සමත්නම්  ඇයට තේ දළු නෙලන්න සිදුවුයේ ඇයි.....කුමාරිගේ ස්වාමියා අවාසනාවන්ත ලෙස ගසකින් වැටී මිය ගියේ මීට වසර තුන හතරකට පෙර බව  තාත්තා කියයි. තම  දයාබර ස්වාමියාගේ වියෝවෙන් පසු වැල්ලවාය හැරදා  නැවතත් ගමට පැමිණි කුමාරි දේශපාලකයින් පසු පස ගෑටුවේ හරි හමන් රස්සාවක් හොයා ගන්නටය.

උඩුවර මාමාද දැන් බැරි බැරි ගානේ පසුවෙයි. උඩුවර නැන්දගේ තිබු සිරියාවන්ත මුහුනද දැන් වැහැරී යමින් පවතී.

නපුරුසතා තවමත් ගෙදරට බරක් වී ඔහේ කාලය ගෙවයි. 

කුමාරිට එසේ ඉන්නට නොහැකිය.. තීරණයක් හත යුතුය. තමන්ගේ මාමා ( අම්මගේ අය්ය) ගමේම ලොකුම පෝසතා වුවාට කමක් නැත.. 

කුමාරි හිත හදා ගත්තේ වත්තේ දළු කඩා හෝ තම තාත්තා නැති දරුවන් දෙදෙනාත්.. මන්ද මානසික මල්ලිත්.. අබල දුබල වූ මවත්, පියාත් රැක ගෙන ජීවිතයට මුහුණ දීමටයි....